Tuesday, June 16, 2020

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය



පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් මිලේච්ඡ ලෙස පහර දෙන ලදි. එම පහරදීමට එරෙහිව දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකාරාශිව අද ජුනි 16 දින උද්ඝෝෂණයක් දියත්කර තිබේ. මෙම උද්ඝෝෂණය ලංකාවේ දේශපාලන ක්‍රියාවලියේ මර්දනයට එරෙහිව සිටින බලවේග පිළිබදව නිශ්චිත අදහසක් දැකගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ජවිපේ ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ තම වෘත්තීය සමිතිය නියෝජනය කරමින් පැමිණ සිටීමයි. පෙසප ජවිපෙන් වෙන්වන විට පෙසප සාමාජිකයින්ට පන්න පන්නා පහරදුන් ජවිපේ අද පෙසපට පහරදුන් අවස්ථාවේ ඊට එරෙහිව තම ගුරු සංගමය හරහා විරෝධය දක්වා තිබේ. ජවිපේ මේ ගෙවන කාලය පසු ගිය ආණ්ඩුවේ  කාලයට වඩා මර්දනයට ලක්විය හැකි ප්‍රමාණය වැඩිය. මොකද මෙතෙක් යහපාලන ආණ්ඩුව මෙන් ගෝඨාභය ආණ්ඩුව සමග ජවිපේ යම් ප්‍රමාණයක සතුරු ප්‍රතිවිරෝධයක් දක්වමින් තිබේ. එම ප්‍රතිවිරෝධය යහපාලන රජය සමග තිබු යම් ලිහිල් මත දැක්විමකින් ඔබ්බට ගිය එකකි. එය රාජපක්ෂ විරෝධය ලෙස, වංචා දුෂණ වලට එරෙහි වැනි වාග් පාඨ හරහා එළියට පැමිණේ. මේ අනුව ජවිපෙට මහා ලොකු මර්දනයක් නොවුනද කලින්ට වඩා ඔවුන්ගේ ගමන සරල නොවනු ඇත. කෙසේ වෙතත් ජවිපේ මෙම උද්ඝෝෂණයට තම ගුරු සංගමය යෙදවීමේ තවත් එක් අරමුණක් විය හැක්කේ, ඔවුන් රාමු ගතව සිටින ඡන්ද දායකයන් නිසාය. එහිදි ප්‍රජාතන්ත්‍රවාදයට සමීප කොටස් වලට ඔන්න අපි මේකෙදිත් අපේ කාර්‍ය කළා වැනි සරල අර්ථ දැක්විමකින් ඊට ප්‍රතිචාර දැක්විමේ උවමනාව මත විය හැකිය. එහෙත් පෙසප දේශපාලන ක්‍රියාවලිය තුල ජවිපේ මෙසේ ස්ථාන ගත කිරීමට හැකිවිම යම් ඉදිරිගාමි ක්‍රියාවකි. මෙම සටනින් ජවිපේ විතැන් නොකොට ඊට එක්කර ගැනීමට හැකිවීම පෙසපට වඩා වාසි සහගත වන්නේ හෙට දින සටන් වැදිමට නියමිත ලක්ෂ සංක්‍යාත සටන් කරුවන්ටය. 
පෙසපට මර්දනය අනිවාර්ය වුවද ජවිපෙට එසේම නැත. සරලව කීවෝත් පෙසපට මර්දනය හමා එන ප්‍රමාණය හා එහි වේගයෙන් ජවිපෙට මර්දනය නොපැමිණෙනු ඇත. නමුත් මර්දනය වීමට නියමිත ව්‍යාපාර තවත් යම් බලවේග එකතුකර ගැනිම හරහා එම මර්දනයට එරෙහි විරෝධය ජනගත කිරීම පහසු වනු ඇත. එනම් මර්දනය හුදු කුඩා පක්ෂයක් වටා පමණක් බ්‍රමණය කිරීමෙන් පමණක් නොනවතින බව ආණ්ඩුවට නව ඉගියක් මෙයින් ප්‍රකාශකර තිබේ. පෙසපට මර්දනය  එල්ළ කිරිමට සිතන ආණ්ඩුව එහි පරාශය තවත් පුළුල්වන නිසා ඍජු මර්දනයට එහා ගිය නව උපාය උපක්‍රම ඒ සදහා යෙදවිමට ආණ්ඩුවට  සිදුවනු ඇත.

ජාතික ජන බලවේගය මැතිවරණ ක්‍රියාවලියට පමණක් සීමා නොවි මෙවැනි ක්‍රියාවලියකට ගොනු කිරීමට වෙහෙසිම හෙට දවසේ සටන්කාමින් ලබන ජයකි. එය වර්දනය වන්නේ නම් වාම කතිකාව යම් ආකාරයකින් තවත් ශක්තිමත් වීමට ඇති ඉඩ පුළුල් විමකි. එහෙත් එය ජවිපේ මත තීරණය වේ. මොකද ජවිපේ ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙන්නේ තම මැතිවරණ ක්‍රියාවලියට පමණක්නම් ඉන් වමට ඇති පලක් නැත. නමුත්  අද දින පෙසපට පහරදීමට එරෙහිව ජවිපේ මහින්ද ජයසිංහ හරහා විරෝධය දැක්වීම මගින් පෙනෙන එක් කරුණක් ඇත. ජවිපෙට   ජාතික ජන බලවේගය  යොදාගෙන මැතිවරණය පමණක්ම කිරීමේ අසීරුතාවයයි. මේ මොහොතේ ජාතික ජන බලවේගය නොපැමුණත් ඉන් ජවිපෙට තිබෙන බලපෑම මහින්ද ජයසිංහ යෙදවීම හරහා තේරුම් ගත හැකිය. ජවිපෙට මේ මොහොත මගහැරයාමට මහින්ද ජයසිංහ යෝදාගන්නේද එම බලපෑම නිසාය. ජවිපෙ ජාතික ජන බලවේගය නිසාම මෙම වේදිකාවෙන් පලායාමට අවශ්‍ය වුවද එසේ කිරීමද අපහසුය. එසේ උවහෝත් ජවිපේ ඒ හරහා නෙලා ගැනීමට සිතන අස්වැන්න හා ජවිපේ ඉදිරි දේශපාලනයට තීරණාත්මක බලපෑමක් සිදුවනු ඇත. 

මේම නිසා පෙසප වුව ජාතික ජන බලවේගය සමග කරන ගනුදෙනු පුළුල් කිරීමට සිතනවානම් ඉන් ජවිපේට තවදුරටත් මැතිවරණ වේදීකාවෙන් ඔබ්බට වු ක්‍රියාවලියකට අකමැත්තෙන් හෝ පැමිණීමට සිදුවනු ඇත. එය ප්‍රගතිශිලී ජන සාමුහිකය අරගල පුළුල් විමකි. ජනසහබාගිත්ව අරගල එකට ගොනු කිරීමකි. ඊට ඇති ඉඩ ඉතා සීමිත බව සැබෑය නමුත් හෙට දවසේ වඩා සටන්කාමි පෙරමුණක් නිර්මාණය කිරීමට වැඩි ඉඩක් තිබෙන ස්තානයක් ලෙස ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම තිබේ. ඇත්තෙන්ම මෙම බලවේගය සමග වාම වාදින් කරන දේශපාලන මැදිහත්වීම මත එය කුමන දිසාවකට ගමන් කරනු ඇද්ද යන්න තීරණය වනු ඇත. එමනිසා දේශපාලනික පිටියට පුළුල් වාම බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තිබෙන මෙම ඉඩ භාවිතා කිරීමට උත්සහ කළ යුතුය.

Sunday, June 14, 2020

සිංහල බෞද්ධ මන්ත්‍රනය හා වම

ලංකාවේ දේශපාලනය අතිශ්‍යයෙන්ම සංකිර්ණ තත්ත්වයකට පැමිණ තිබේ. මෙම දේශපාලන වටපිටාව තුල දේශපාලනය ගමන් කරනුයේ නිශ්චිත දර්ශනයක තලයේ ගැටුමක්  වෙනුවට ජාතිවාදය මත පමණක් පෝෂණය වන්නක් ලෙසය. ඊට බොහෝ හේතු තිබේ. නමුත් මෙම තත්ත්වය තුල ගොඩනැගෙන්නේ මිනිසුන්ට හිතකර වටපිටාවක් නොවේ. එහි මුලිකම දේ වන්නේ වෙනත් දේශපාලන අදහසක් දරන්නන්ට ජීවවත් වීමේ අයිතිය පවා උදුරා ගැනීමට සමාජ අනුමැතිය හිමි වීමය. එහෙත් යම් ජාතිවාදි දේශපාලනයක් කරන්නෙක් කුමන ආකාරයේ නරුමයෙක් උවද ඔහුට මෙහි රැකවරණය ලැබීම අනිවාර්ය වේ. මෙම දේශපාලන ප්‍රවේෂයට වැඩි ආයුෂ නොවුණත් ඉන් සමාජයට සිදුවන හානිය අතිමහත්ය. මේ නිසාම මේ පිළිබදව වාමාංශික දේශපාලනයට නව ප්‍රෙවේශයක් අත්‍යවශ්‍ය වනු ඇත. එසේ නොවුනොත් හෙට දවසේ ලාංකිය සමාජය නොවැලැක්විය හැකි කේදවාචකයක් උරුමවනු ඇත.

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයට පහර දීම සරල ක්‍රියාවක් නොවේ. එය ඉතාම සැලසුම්සහගත ක්‍රියාවකි. ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාව සිතන ආකාරය පිළිබදව හොදින් දනියි. ඔවුන්ට  ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනය එතරම් වැදගත් නැත. එය ඇමරිකාව බලාගතයුතු කටයුත්තක් මිස ලංකාවට එය අදාළ නැත. ලංකාවට අදාළ වන්නේ ලංකාවේ දේවල් පමණි. එවායෙන් ද ඉහළින් තිබෙන්නේ සිංහල බෞද්ධ අවශ්‍යතාවන් පමණි. සිංහල බෞද්ධ කීවත් එහි සාමාන්‍ය ජනතාව ඊට ඇතුලත් නැත. එහි සිටින්නේ ඉතාම සීමිත පිරිසකි.ඔවුන් සිංහල බෞද්ධ මනෝභාවය කොල්ල කා තම ආර්ථික කොල්ලය ඉදිරියට ගෙනයාමට ක්‍රියාකරමින් ඇත. මෙහි ගැටළුව වන්නේ ආර්ථිකයම වශයෙන් භංකොලොත් සිංහල බෞද්ධයන් ඒ සදහා පෙරමුණ ගෙන කටයුතු කිරිමය. මෙහි කේදවාචකය ඔවුන් වෙනුවෙන් පෙනි සිටින වාංශිකයන්ට වෛර කිරීමය. මෙම තත්ත්වය මාධ්‍ය හරහා තවත් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යනු ඇත. ඊට ඩොලර් මිලියන ගණන් වැය කරනු ඇත.

මේ සදහා යම් හෝ මට්ටමකින් වාමාංශික ධාරාවේ සිටින්නන්ට එක්සත් වීමට බල කෙරෙනු ඇත. එසේ නොවන්නට දුර්වල සියලු දෙනා වෙත විශාල මර්දනයක් පැමිණීම වැලැක්විය නොහැක. ජාතික ජන බලවේගයට මෙහි තීරණාත්මක කාර්‍යක් පැවරී තිබේ. එහිදි ජාතික ජන බල වේගය ක්‍රියාකරන්නේ මැතිවරණ සදහා පමණක් නම් ඉන් පලක්වන්නේ නැත. මෙම එක්සත් බාවය ප්‍රජාතන්ත්‍රවාදයටත් ආර්ථික සමානාත්මතාවය ස්තාපිත කිරිම දක්වා වු ගමනකට ප්‍රවේෂවන්නේ  නම් මැතිවරණයෙන් පසුවද ක්‍රියාකාරි විය යුතුය. මේ මොහොතේ රටේ පවතින ජාතිවාදි මිනිමරු පිපාසිත පාලනයට එරෙහි වෙනත් බලයක් ගොඩනැගිනැත. එසේ වෙනත් බලයක් ගොඩනැගීමට තිබෙන ඉඩද ඉතා අල්පය. එම නිසා මේ මොහොතේ ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවට පමණක් සීමා නොකොට ඉදිරි අරගල සදහා කැදවීමට හැකිමම් එය අනීවාර්‍යෙන් කළ යුතු කාර්‍යක් වනු ඇත.

Wednesday, April 15, 2020

කොරෝනා වලින් පසු ආර්ථිකය



ඉතාම කෙටිකාලයකදී ලෝකයම කණපිට ගැසී ඇත. සියලු සාමාන්‍ය ක්‍රියාකාරිත්වයන් නැවතී ඇත. මේ වනවිට ඇමරිකාවේ පමණක් මිලියන 17 ට අදික කම්කරුවන් ප්‍රමාණයකට රැකියා ඇහිමි ඇත. බොහෝ නිෂ්පාදනය නවතා දමා කර්මාන්ත ශාලා වසා ඇත. එම කර්මාන්ත වලින් කොපමණ ප්‍රමාණයක් නැවත තම නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ම්භ කළ හැකිදැයි නොදනි. නමුත් බොහෝ කර්මාන්ත ශාල හිමි ධනපතියන් උතතර eනොමැතිව නිරුක්තර වනු ඒකාන්තය. ලෝකයේ ගුවන්ගමන් සිදුවන්නේ අල්ප වශයෙනි. එයින් පෙනෙන්නේ ගුවන් සේවා ආයතන කඩා වැටීමට නියමිත  බවය. පරිභෝජනවාදි ජිවන රටාවකට හුරුකළ මිනිසුන් අද භිතියෙන් නිවෙස්වලට හෝ තම ආහාරය සෝයා යමින් තිබේ. මෙම තත්ත්වය පහව යෑමට අඩුම තරමින් තව වසරක් හෝ ගතවනු ඇත. එතෙක් යම් රටක් කෝරෝනා වෛරසය පරාජය කළත් නැවත සිටි තැනට ඒමට නොහැකිය. අගුලු දැමු රටවල් විවෘත කළත් ඒවා සම්පුර්ණයෙන්ම විවෘත නොවනු ඇත. එය බොහෝ කාලයක් පවතිනු ඇත. රටවල් වෙන්වෙන්ව මේ අභියෝගයට මුහුණ දෙද්දී එම රටවල ජනතාව තමන්ගේ ජීවිතය රැක ගැනීමට අරගල කරනු ඇත.

ලෝකය සාමාන්‍ය පරිදි ගොඩනැගෙන්නටනම් මිනිසුන් නැවත රැකියා වලට යා යුතුය. ඉන් ලැබෙන් වැටුපෙන් භාණ්ඩ මිලදිගත යුතුය. එහෙත් ගුවන් සේවා සමාගම්, සංචාරක කර්මාන්තයට අදාළ හෝටල් හා ක්‍රිඩා තරග මත දිවෙන ආර්ථිකය බිද වැටෙනු ඇත. එය නැවත වැටී තිබෙන කොටස් වෙළදපොළ තවතවත් අකර්මණ්‍ය කරනු ඇත.ලෝක ආර්ථිකයේ දෛනිකව හුවමාරු වු ඩොලර් බිලියන ගණන් මුදල් තවදුරටත් සංසරණය නොවනු ඇත. මෙහි අදහස එය ඍජු ලෙස මුල්‍ය ආර්ථිකය දෙපළුකොට දමන බවයි. ඒ සමගම නිශ්පාදන ආර්ථිකය තවදුරටත් හැකිලී යනු ඇත. ඊට අනීවාර්‍ය ලෙස රාජ්‍ය මැදිහත්විය යුතුය. එසේ මැදිහත් වුවත් ඒවා කලින් පැවති තත්ත්වයට නොපැමිණෙනු ඇත. තවදුරටත් විරැකියාව වර්ධනය වී සමාජය දෙදුරුම්කනු ඇත.

මේ තත්ත්වය තුල ලංකාවේ ආර්ථිකයට ද එම ඉරණම අත්වෙනු ඇත. පළමුව සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ලැබුණු විදේශ විනිමය තවදුරටත් නොලැබෙනු ඇත. ඒ ආශ්‍රිතව රැකියා කළ බොහෝ අය වද වේදනාවට ලක්වීම වැලැක්විය නොහැක. දැනටමත් ප්‍රධාන හොටෙල් ව්‍යාපාර කිහිපයක කම්කරුවන් ගේ වැටුප් 50%න් ලප්පාදුකොට ඇත.  ඒ සමගම ඇගළුම් කාර්මාතය සැලකිය යුතු අගයකින් බිද වැටීමට ලක්විය හැකිය. මෙයට හේතුව වන්නේ ලෝකය පෙර පරිදි නොවන අවිනිශ්චිතාවය හේතුවෙන් භාණ්ඩ විකිණීමට ගතවන කාලය වැඩි විමයි. එහි අදහස ලෝකයේ ජනයා පරිබෝජනය කරන රටාව සැලකිය යුතු ලෙස වෙනස් වී එය මන්දගාමි වීමය. මෙම තත්ත්වය තුල ඇගළුම් කර්මාන්තය මේ ආකාරයෙන් පැවතියෝත් එය අධි නිශ්පාදනයෙන් පාඩු ලබනු ඇත. එම නිසා නිශ්පාදනයේ වේගය ඉතා පහළ අගයක් ගනු ඇත. එහි අදහස වන්නේ බොහෝ කර්මාන්ත වැසීයාමට ඉඩ ඇති බවත් ඉතිරිවන කර්මාන්ත ශාලා වලද බොහෝ කම්කරුවන්ට රැකියා අහිමිවීමට ඉඩ ඇති බවය. එසේම අපනයන බෝග ලෙස පවතින තේ,කුරුදු හා කුළු බඩු වලටද මෙම ඉරණම අත්වෙනු ඇත. මෙම කඩා වැටිම සමග ලංකාවේ අනෙකුත් නිෂ්පාදන හා සේවාවන් ද පසු බෑමකට ලක්වනු ඇත.

මේ අනුව කොරෝනා ව්‍යසනයෙන් පසු අපට තවත් ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇත. ආණ්ඩුව ඊට දැන්තියා ලක ලෑස්ති වෙමින් තිබේ. මුහුණු පොත හරහා මේ පිළිබදව මතවාදයක් නිර්මාණය කරමින් තිබේ. රටේ ඉදිරි කටයුතු සදහා පාර්ලිමේන්තුව වෙනුවට ජනාධිපති වරහා, රාජ්‍ය සේවය හා හමුදාව සිටිම ප්‍රමාණවත් බවට වන ප්‍රචාරයන් දියත්කොට තිබේ. සමහරු ඊට අදාළ මතවාද නිරන්තරයෙන් පල කරයි. ඒ සමගම ජනතාව  ඒවා ගිජුව වැලද ගනිමින් හුවමාරු කරයි. හැබැයි කිසිවෙක් මෙහි අදහස හෝ ආණ්ඩුවේ අවශ්‍යතාව පිළිබදව නොසිතයි. එය ආණ්ඩුවේ ඉදිරි අවශ්‍යතාවයකි. එනම් ආර්ථික අර්බුදයෙන් මිදීමට අවශ්‍ය මර්දන යාන්ත්‍රනය සදහා වන ජනතාවගේ මානසිකත්වය නිර්මාණය කිරීමයි. මේ සමගම නැවත දේශිය බෝග වගාව හා පුරන්කුඹුරු අස්වැද්දීමේ මෙහෙයුමක්ද දියත්වෙමින් තිබේ. ඒ ලග එන ආහාර හිගයට පිළියමක් ලෙස ප්‍රකාශ කරමින්ය. එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ලග එන ආහර හිගයට පමණක් නොව ඉදිරියේදි විරැකියාවට ගොදුරුවන්නන්ට විකල්පයක් හදුන්වාදීම සදහාය. එය වීරත්වයෙන් ඔසවාතබන්නේ එහෙයිනි. මේ සමගම අනීවර්‍යෙන් වතු කම්කරුවන් අසරණ භවයෙන් තවත් පහළට වැටෙනු ඇත. ඊට කිසිවෙක් ගේ මැදිහත් වීමද අපේක්ෂා කළ නොහැකි. නමුත් ආණ්ඩුව මේ සියල්ල ගැන සලකා අර්ථ සාධක අරමුදල නිදහස් කිරීමට කටයුතු කරමින් සිටියි. රැකියා අහිමිවන කම්කරුවන්ට ඉන් යම් කාලයක් තම ජීවිතය ගැටගහ ගත හැකිය. ඒ සමගම කඩාවැටීමට නියමිත කර්මාන්ත ශාලා හිමි ධනපතියන්ට බදු සහන හිමිවනු ඇත. නමුත් ඔවුන්ට බොහෝ කාලයක් යනතෙක් නව රැකියා උත්පාදනය කිරීමට හෝ වැඩි නිශ්පාදනයක් අත්පත්කොට ගත නොහැක. එම නිසා මෙම අර්බුද ලංකාවේ මෙන්ම ලෝක මට්ටමින් චක්‍රීය ලෙස ඉදිරියට ඇදෙනු ඇත.

Thursday, April 2, 2020

ආණ්ඩුව විවේඡනය කළ ශිෂ්‍යයා හිරගෙට

කොරෝනා රෝගය රට තුලට පැමිණියේ කෙසේද යන්න ආණ්ඩුව හොදින්ම දන්නා කරුණකි. එය වසන්කිරීමට යාමම නිර්ලච්ඡිත ක්‍රියාවකි. එසේම මෙම ක්‍රියාවෙන් පසුවද කොරෝනා වෛරසය ව්‍යාප්තිය මැඩලීමට ආණ්ඩුව මන්දගාමීව කටයුතු කළේය. එය එසේ කළේ  වෙනකක් නිසා නොවේ සංචාරක කර්මාන්තය හරහා මෙරටට විශාල සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවය. මෙහිදි ආණ්ඩුව කටයුතු කළේ කබරගොයා තලගොයා කිරීමේ ප්‍රතිපත්තියට අනුවය. මෙම සිදුවිම් සමග ජනතාවට ආණ්ඩුව පිළිබදව විස්වාසයක් ඉතිරිවන්නේ නම් පුදුමයකි. ඇත්තටම දැන දැනම ජනතාව මරණයවෙතට තල්ලු කිරීම ආණ්ඩුව විසින් සිදුකර ඇත.

මේ සියල්ල මෙසේ තිබියදි ජනතාවට ආණ්ඩුව පිළිබදව මනා පරිපුර්ණ විස්වාසයක් තබා ගන්නා ලෙස බල කිරීම විහිළුවකි. දෛනික ජීවිතය ගෙවා ගැනීමටවත් නොහැකි ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවත් බෙදා හැරීමට ආණ්ඩුව අපොහොසත්ය. එවැනි තත්ත්වයකදි දරුවන් මරණ ලද ගහලයන් නිදහස් කිරීමට ආණ්ඩුවට හැකිය. ජනතාව ගේවල් තුලට වි  සිටන ලෙස බල කරමින් තම ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ජනතාව එකතු කිරීමට ආණ්ඩුවේ ඇමතිවරුන්ට හැකිය. මෙම ක්‍රියාවන් සමග ආණ්ඩුව පිළිබදව යම් විස්වාසයක් ඇත්තෙක් වේනම් ඔහු පිස්සෙකි. තමා විසින් තමා උදේසා එවැනි වටපිටාවක් නිර්මාණය කරගත් පසු ජනතාවට කියන්නේ නෑස කන් ඇතුව සිටීමටය. ජනතාව එසේ වුවහෝත් සිදුවන්නේ කුමක්ද යන්න හොදාකාරවම දනී. එම නිසා තමන්ගේ ජීවිතය පිළිබදව ආණ්ඩුව ගනු ලබන තීරණ විවේඡනය නවතා දැමීමට ආණ්ඩුවකට නොහැකිය. එහෙත් ආණ්ඩුව තම නින්දිත ක්‍රියා මර්දනයේ සළුවෙන් වැසීමට ක්‍රියාකර ඇත.

දැන් ආණ්ඩුව    විවේඡනය කිරීම නීති විරෝධි නම් මේ සමාජය ගෙනයාමට සුදානම්වන තැන පිළිබදව සිතාගත හැකිය. මර්දනය වර්ධනය කරන්නේ නොහැකියාව වසා ගැනීමටය. එසේම  ඉන් ආණ්ඩුවේ නොහැකියාව තවතවත් ප්‍රදර්ශනය වන බව ආණ්ඩුවට නොතේරෙන්නේය.

පේරාදේණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙක් කොතලාවල රෝහල ප්‍රභූන්ට වෙන්කරගෙන සිටිනවා යැයි කියු සැනින් විශාල කලබලයක් නිර්මාණය කර ඇත. කොතලාවල පිළිබද  එක එක කතා පැමිණෙන්නේ ඇයිද යන්න ද සිතා බලන්නත් කොතලාවල කියූ සැනින් උරනවනේ කුමට යන්නත් සිතා බැලිය යුතුය. ඒත් ඒ සියල්ලටම වඩා රටේ සෞඛ්‍ය  සේවයට අත්ව තිබෙන තත්ත්වය පළිිබදව සිතා බැලිය යුත්ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවම පහසුකම් ලබා දී නැත. එසේම ලංකාවටම icu ඇදන් තිබෙන්නේ 500ක් පමණය. වෛද්‍යවරු විශාල කැප කිරීමක් කරන අතර ඊට ජනතාවද යම් සහයක් ලබා දෙමින් තිබේ. මේ අනුව  ඉදිරියට  ලංකාව තුල ජන ජීවිතයේ විශාල අර්බුදයක්  නිර්මාණය වීම ඒකාන්තය. එය කොරෝනා වසන්ගතය නිමාවුපසුවත් දැරිය නොහැකි පිඩනයක් වනු ඇත. ආණ්ඩුව මේ පිළිබදව හොදින් දන්නා නිසා කල්තියා ඊට සුදානම්වීම ද දැක ගතහැකිය. ඒ ජනතා ගැටළු විසදනවා වෙනුවට මර්දනය කැදවමිනි. කෝරෝනා වෛරසයට මුවා වී ජනතාවට තිබෙන කතා කිරීමේ නිදහසට අවසන් කිරීමට ඇතනම් එය ආණ්ඩුව ලබාගන්නා ජයග්‍රහනයක් වනු ඇත. මෙය ආරම්භයක් පමණි. හෙට දින එය තවත් ව්‍යාප්ත කරනු ඇත. මෙම නිසා ජනතාව ලෙස ආණ්ඩුවට බල යුත්තේ මර්දනයෙන් සැබෑ ප්‍රශ්න යට කිරීමට නොව සැබෑ ප්‍රශ්න විසදන ලෙසටය.  එසේම ජනතාවට බලකළ යුත්තේ ආණ්ඩුව ගොඩනැගීමට උත්සහ කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියට  එරෙහිව පෙළ ගැසෙන ලෙසටය .

Friday, March 20, 2020

අගමැති මහින්ද රාජපක්ෂ ජාතිය ඇමතීම පිළිබදව


අගමැති රාජපක්ෂ මේ මොහොතේ ජාතිය ඇමතීම හොද දෙයකි. එහෙත් ඔහුගේ කතාවෙන් ජනතාවට ගැනීමට තිබෙන්නේ කුමක්ද? ඔහු පුන පුනා ප්‍රකාශ කළේ මේ වනතෙක් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබදවය. ඔහුට වෙනයමක් කීමට තිබුනේද නැත. ඇත්තෙන්ම අගමැති රාජපක්ෂ ඇතුළු රජය ක්‍රියා කළේ  මන්දගාමිවය. ඔවුන්ට මේ තත්ත්වය  පිළිබදව නිවැරදි වැටහිමක් තිබු බවක් පෙනුනේ නැත. ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මේහි බැරැරුම්කම වැටහෙන ප්‍රමාණයටය. ඔවුන් ක්‍රියා කළෙත් එසේය. අඩුම තරමින් වෛරසය පිළිබදව වෛද්‍යවරුන්ගේ අදසහට ඉඩනොදි එය හමුදාවට භාරකිරීමට සිතීම පවා වැටෙහෙන්නට තවත් කල්ගත වනු ඇත. දැන් කළ යුතු දේ පස්සට දමා මේ තත්ත්වය සුළුකොට තකන්නට ජනතාව පෙළඹ්වේ ඔවුන්ය. එසේ තත්ත්වයකදිවත් අගමැතිවරයා ලෙස ජනතාවට විස්වාසය ගොඩනැගෙන ප්‍රකාශයක් කිරීමට අසමත්ය. ඔහු අනිවාර්ය ලෙස ප්‍රකාශ කළ යුතු දේ මගහැරියේය. දවස් වැඩ කරන දෛනික ජීවිතය ගැටගහගන්න මිනිස්සුන්ට  මොකද වෙන්නේ, වෛද්‍යවරුන්ට ලැබෙන පහසුකම් පිළිබදව කිසිත් සදහන් කරන්නේ නැත. නිරෝධායනයට අවශ්‍ය පහසුකම් පිළිබදව කිසි සදහනක් නැත. ‍‍‍‍‍‍‍‍රෝහල් වල තිබෙන ඉඩ ප්‍රමාණය ඊට වඩා දායක කරගත යුතු දේවල් පිළිබදව ඔහු කිසිත් ප්‍රකාශ කරන්නේ නැත.  අගමැතිවරයාට මේ දේවල් සුළු දේවල් උවත් රටේ ජනතාවට එසේ නොවේ. ආණ්ඩුව  මේ වසන්ගතය නිමාකිරීමට හැකි ශක්තිමත් වැඩපිළිවෙළක් වෙනුවට එදාවෙල ගහන ගේමක් ක්‍රියාත්මක කරයි. අගමැතිවරයා  කියන කතාද ශක්තිමත් හා විස්වාස කළහැකි දේ නොවෙයි. ඔහු මේ මොහොතේ ජනතාවට  තිබෙන දැඩි පිඩනයට පවා සහනයක් සැලසීමට අසමත්ය. ඔහු ජනතාවට යම් බලාපොරොතුවක් ලබාදීමට  තිබිණි. එහෙත් ඔහුට එසේ කිරීමට තරම් හැකියාවක් නැත. අගමැතිවරයා  යුද්ධය පිළිබදව කතාකලද එහි අද්දැකීම් මත සිට රටක සිටින සියලු ජනතාව එක අරමුණකට එකරාශි කිරීමට ඔහු උත්සහ නොකරයි. ඔහු ජනතාව මුලා කිරීමට උත්සහ  කරයි. කන්න බොන්න දෙන්නම් වගේ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ සැමන් පරිප්පු කතාව හා සමානය. ඔහුට මෙය ඡන්දයකි. ජනතාව මරබියෙන් පසුවෙද්දි අඩුම තරමින් වසන්ගතය තුරන් කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථක අසාර්ථක භාවය පිළිබදව ජනතාවට කිසිත් නොකියයි.
මේ අප මුහුණ දෙන අවධානමේ ස්වභාවයයි. අගමැතිවරයා කියන පරිදි කිසිත් නොවේ. ඊට වඩා සියදහස් ගුණයකින් තත්ත්වය භයානකය. ආණ්ඩුව කුමක් කීවත් කුමක් කළත් ඒවා අනුව කටයුතු කළොත් කිසිත් නොවේ. එමනිසා ජනතාව මීටවඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

අදින් පසු ලංකාවේ තත්ත්වය

මේ වන විට ලංකාවේ වාර්තා වන රෝගින් සංඛ්‍යාව 66 කි. මෙම ගණන වාර්තා වීමත් සමග ලංකාවේ තත්ත්වය වෙනස් අතකට හැරී තිබෙන බව පැහැදිලිය. මීට පෙර වාර්තා වු රෝගින් බොහෝ දෙනෙක් විදෙස් රටක සිට පැමිණි අයයි. එසේම ඔවුන්ගේන් බෝ වුවන්ය්යය. දැන් ඒ වෙනුවට ලංකාවේ ජීවත් වුවන් අතර  ව්‍යාප්ත වු රෝගින් වාර්තා වීමට පටන්ගෙන තිබේ. එය  ගණනින් මෙතෙකෑයි කියා කිව නොහැකිය. ඉදිරි සතිය පුරා එම ගණන වාර්තා වනු ඇත. 

මෙම වෛරසය ආසාදනය වුවෙකුට රෝග ලක්ෂණ පහළ වීමට සති දෙකක කාලයක් ගතවන බැවින් එතෙක් ඔහු හෝ ඇය රෝගවාහකයෙකි. එසේ රෝගය ව්‍යාත්තවිමද මේ දිනවල ඕනෑවටත් වඩා සිදුවෙමින් තිබේ. සුපර්මාර්කට් වලට එක්රොක් වී භාණ්ඩ මිලට ගන්නා අය දහස් ගණනකි. සමහරු පොලේ ගොස් ඇත. එම ස්ථානවල තවත් දහසක් ගණනකි. වාහන වලට තෙල් ගැසීමට ගොස් සිටින තවත් දහස් ගණනක් සිටිති. මේ සමගම ආණ්ඩුවේ රු100 සැමන් ගැනීමට ගිස් සිටින පිරිසක් ද වේ. මේ සියල්ලටම වඩා අදික පිරිසක් නාම යෝජනා භාරදිමටත් ඡන්ද රැස්වීම් වලටත් සම්බන්ධ වී සිට්යි. මේ හා සමානව පන්සල්, පල්ලි ,කෝවිල් වලට එකතු වු පිරිසක් ද වේ. සමහර ආගමික ස්ථානවල එකතුව තිබෙන්නේ 50ක 60ක පිරිසක. සමහර ආගමික ස්ථාන සියගණන් එකතුකොට තිබේ. මෙසේ එකතු වී සිටින පිරිස සැලකිල්ලට ගත්විට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාව එය මර්දනය කරන මට්ටමට වඩා සියගුණයකින් වැඩි වී තිබේ. මෙම නිසා රටේ තත්ත්වය අයහපත් බව සැවෝම දන්නා නමුත් මෙම තත්ත්වය පියමන් කරන්නේ කෙසේද යන්න පවා සිතීමම භයංකාරය. 

අද දින සිට දින තුනක් රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක ය. එය බලපැවැත්වෙන්නේ දින තුනකට වුවද හෙට දිනය වනවිට මෙම තත්ත්වය භයානක වන හෙයින් හදිසි නීතිය අවසන්වන දිනයක් පිළිබදව සිතාගත නිහැකිය. අනෙක් රටවල මෙන් ලංකාවද යම් දිනක මෙම රෝගයට පිළියම් කරන තෙක් මෙසේ පවතිනු ඇත. එනම් මෙම අසීමාන්තික භිය පහවයන කාලයට පෙර මිනිසුන් කොපාමණ සංඛාවකට ජීවිතය අහිමි වේවිද යන්න පිළිබදව කිසිවෙක් දන්නේ නැත. අද හමුවු කෙනෙක් නැවත දකින්නට ලැබේවිදැයි සැක සහිතය. වෛරසයෙන් මරණයට ලක්වුවන් සිහිපත් කිරීමටවත් අවසන් ගෞරව දැක්වීමට ඉඩක් ලැබෙන්නේ නැත. මරණය අත්වුවන් බොහෝ දුරට දැකගත හැකිවන්නේ මුද්‍රණය කරන ලද කඩදාසියකිනි. එය කිසිවෙක් තම අවසන් ගමන යාමට සීතන විදියක් නොවේ. එහෙත් කළ හැකි දේ අප සමාජයක් ලෙස අත්හළ පසු ඊට වැඩියමක් අත්විදිය නොහැකිය.  එමනිසා අප මේ තත්ත්වය තුලත් ජීවත්වීමට වෙරදරමු. වසන්ගතය පරාජය කරමු. ඊට දැන්වත් සමාජයක් ලෙසට එකට එක්වී කටයුතු කරමු. 

Wednesday, March 18, 2020

මන්ද බුද්ධික ආණ්ඩුවේ කොරෝනා ජොලියෙන් ප්‍රා/ලේ භීතියට

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට ආණ්ඩුවට
නිශ්චිත වැඩපිළිවෙළක් නැත. ආණ්ඩුවේ වැඩපිළිවෙළ වන්නේ කවුරුන් හෝ සද්දේ දමා කියන දේ කිරීමය. කොරෝනා වෛරසය රටට පැමිණිමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව කිසිම දෙයක් නොකර සිටියේ ආණ්ඩුවට ඒ පිළිබදව කිසිදු අදහසක් හෝ වැඩපිළිවෙළක් නැති නිසාය. ඒ මොහොතේ වෘත්තීය සමිති හෝ මේ පිළිබදව අවබෝධයක් තිබෙන වෙනත් කණ්ඩායමක් සද්දයක් දමා තිබුණේනම් අද රටේ ජනතාව සුරක්ෂිතය. අහන ප්‍රශ්නයකට කෙලින් කටින් සිට උත්තර දීගත නොහැකි ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම ගැන පමණක් වාචාලයෝ දමා මාධ්‍ය හමු තියති. එහෙත් අවශ්‍ය දේ කරන්නේ නැත.
 රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික අංශ සේවකයන්ට ඉතාම අපහසුවෙන් දින තුනක නිවාඩුවක් ලබා ගැනීමට දහස් ගණනක් මිනිසුන්ට වෙහෙසෙන්න සිදුවිය. එහෙත් මැතිවරණය ගැන පමණක් සිතන ආණ්ඩුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල වල වැඩ කරන පිරිස්වලට නිවාඩු දුන්නේ නැත.
 ආණ්ඩුව මේ කරන්නේ කුමක්ද? මෙලෝ දෙයක් ගානකට නොගෙන මන්ද බිද්ධිකයෙක් සේ කටයුතු කිරීම කවුරුන් හෝ ආණ්ඩුවෙන් බලාපොරොතුවන්නේ නැත. සැමන් 100 දීම වැනි ගෝන ආතල් දී මේ ප්‍රශ්නෙට ආණ්ඩුව මැදිහත්වන බව ආණ්ඩුව පෙන්වන්න හැදුවට අවශ්‍ය දේ නොකීරීම හරහා සිදුවන විනාශය ගැන තබේකටවත් මායිම් කරන්නේ නැත. දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල හැර තිබෙන්නේ ආණ්ඩුවේ බල ලොබි අවශ්‍යතාව තෘප්තිමත් කිරීමට බව අපට සිතාගත හැකිය. එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හැර තිබෙන්නේ කුමටද? පස් දෙනෙක්ටවත් එකතුවීම පවා එපා කියන සෞඛ්‍ය බලදාරින්ගේ වචන තුතුට්ටුවකටවත් මායිම් කරන්නේ නැතිව ආණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා කොරෝනා මර්දනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලින් රු100 සැමන් බෙදන්නේ නැත. 65 පරිප්පු බෙදන්නේ නැත. මුඛ ආවරණ රටේ ඇත්තේ නැති නිසා එවා බෙදන්නේ නැත. අඩුම තරමේ ජනතාවට රෝගවැලැක්වීම පිළිබදව ප්‍රචාරන කටයුතු කරන්නේ නැත. එහෙත් රෝග ව්‍යාප්තියට අවශ්‍ය සාධක සම්පුර්ණ කරමින් සිටියි. එහෙත් එය ආණ්ඩුවට තේරෙන්නේ නැත. ආණ්ඩුව ඔහේ බලාගත් අත බලා සිටියි. ආණ්ඩුව මද නින්දකට ගොස් ඇත. මේ නිසාම ආණ්ඩුවට පයින් ගසා හෝ ඇගැරවිය යුතුය. කොරොනා මර්දනයට කිසීසේත්ම දායක නොවන ප්‍රාලේ රෝගය බෝ කරන ස්ථාන ලෙස වර්ධනය නොකර වහාම වසා දැමීමට බල කල යුතුය. 

ගෝඨාගේ සිහිනය මහින්දගේ සිහිනය වන මැතිවරණ සදහා දිස්ත්‍රික් ලේකම්කාර්‍යාල ඇර තිබේ. එවානම් මොකා කීවත් වසන්නේ නැති බව එකාන්තය. එහෙත් නුඹලා ගේ සිහිනය වෙනුවෙන් නුඹලාගේ නරුම සිහිනය වෙනුවෙන් ජනතාව බිල්ලට දී කරන නාඩගමේ ප්‍රතිඵල මැතිවරණය පැවැත් වු වහාම ලබාගත හැකිය. එතෙක් මන්ධබුද්ධිකයෙක් සේ ඔහේ බලාගත් අත බලා සිටින්න.

Tuesday, March 3, 2020

ආණ්ඩුව උපාධිධාරීන්ට මැකෝ හරහා දුන් ගේම

දින ගණනක් සති ගණනක් මාස ගණනක් අවුරුදු ගණනක් ඇගිලි ගැන ගැන හිටි රැකියාව ආණ්ඩුව මැකෝ හරහා උදුරාගෙන ඇත. මෙම ආණ්ඩුව පත්විමට පෙර ජනාධිපති ගෝඨාභය මැතිවරණ පොරොන්දුවක් ලෙස සියලූම උපාධිධාරීට රැකියා ලබාදෙන බවට ප්‍රකාශ කළේය. ඒ සමගම ඔහුව විස්වාස කළ උපාධිධාරීන් කතිරය කෙටුවේ ජනවාරි පළවෙනීදාට පත්විම් ලබාගැනීමේ ආෂාවෙනි. එම ආෂාව එකවර සන්තර්පණය කිරීමට ආණ්ඩුව කැමතිවුයේ නැත. ඒ වෙනුවට උපාධිධාරීන්ගේ ආෂාව පෙබරවාරි තෙක් දුර්ගකොට එය නැවත මාර්තු දක්වාම ඉදිරියට ගෙන ආවේය. මාර්තු  පළවෙනිදා  උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලැබුණේය. ඒත් අද නැවත ඒවා උදුරා ගෙන තිබේ.
පෙබරවාරියේ රැකියා ලබාදෙන බවට ආණ්ඩුව කී විට සංවර්ධන නිලධාරින් සේවා මධ්‍යස්ථානයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මේ පිළිබදව පැහැදිලි කිරීමක් කළේය. ඒ මීට මාසයකටත් පෙරය. ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ සුදානම් වන්නේ උපාධිධාරීන්‍ට රැකියා ලබාදීමට නොව ඔවුන්ව රැවටීමට බවය. මාර්තු මාසයේ 02 දින පාර්ලිමේන්තුව විසුරුවන බව කවුරුත් දැනන් සිටි කරුණකි. ඒ අනුව ආණ්ඩුව රැකියා ලබා දී මැකෝ හරහා එවා අත් හිටුවන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඒ අනුවය. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මීට මෙම ගැටළුව අත්විදීමට පෙර එය මගහරවා ගැනීමට විශාල බෙහෙසක් දැරූ බව හැමෝම දන්නා කරුණකි. නමුත් ජවිපේ මැදිහත්විම හා සමහර ආණ්ඩුවට හිතැති සංගම් හා පුද්ගලයන් ආණ්ඩුව පිළිබදව තිබෙන විස්වාසය තවුරු කරමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට පහර ගැසුවේය. නමුත් අවසානයට සිදුව තිබෙනේ තැන්නේ හිමි හා ධම්මික මුණසිංහ ප්‍රකාශ කළ දෙයම නොවේද?

දැන් රැකියා අහිමි කළ උපාධිධාරීන් ගේ කතාවස්තුව මෙතනින් නිම වන්නේ නැත. ආණ්ඩුවේ මැතිවරණ අපේක්ෂකයින් රැකියා සිහිනය කොල්ලකමින් තමන්ගේ දේශපාලන කැම්පේන් එකට උපාධිධාරීන් යොදාගැනීමට නියමිතය. මෙය ආණ්ඩුව ගැසු ගේමකි. මේ ගේමට උපාධිධාරීන් හසුව තිබේ. ඒ ඔවුන් ආණ්ඩුව හා වෙනත් කණ්ඩායම් විස්වාස කළ නිසාවෙනි. දැන් අප උපාධිධාරීන්ට දැන්වත් එසේ නොකරන ලෙස කීමෙන් පලක් නැත. ඔවුන් ආණ්ඩුව පසුපස යාම නවත්වන්නේ   නැත. එසේම සටන නවතින්නේ ද නැත. මොකද නැවත උපාධිධාරීන් රැකියා ලබාගත යුතු නිසාය. එමනිසා එය කෙතරම් ඉක්මනින් සිදුවනවාද යන්න තීරණය වන්නේ සටන ආරම්භ වීමට ගතවන කාලය අනුවය. දේශපාළුවන්ට කඩේ නොයා සටන් කිරීම තෝරා ගන්නේ නම් එය ඉක්මන්වනු ඇත. නැත්නම් උපාධිධාරීන්ගේ රැකියා සිහිනය තවත් කාලයක් මේ ආකාරයෙන් ඉදිරියට ඇදෙනු ඇත.

Friday, February 28, 2020

දුර්වල සංවර්ධන නිලධාරියාගේ සිට ශක්තිවන්තයා දක්වා.

පසුගිය ඉතිහාසය පුරාවට උපාධිධාරීන්ව්වව ඇද දැමුවේ ශක්තිමත් පදනමේ සිට දුර්වල ස්ථානයකටය. පැවති ආණ්ඩු හා දැන් තියන ආණ්ඩු එසේ කළේ උපාධිධාරීන් ගේ කොදු කඩා තමන්ට අවශ්‍ය පරිදි තම්න්ගේ උවමානවන්ට නම්මවා ගැනීම සදහාය. එම නිසා සංවර්ධන නිලධාරින් බබදවා ගැනීමේ සිට ඔවුන්ට සකසන ලද සේවා ව්‍යවස්ථාව පවා සකස් කළේ උපාධිධාරීන් දෙකේ කොලේට දමමින්ය. එසේම ඊට පැවති වෘත්තීය සමිති වල ආශිර්වාදය නොවඩුව ලැබුණු නිසාවෙන් පැවති ආණ්ඩු උපාධිධාරීන් හැකි පමණ කඩේ යවා අවසන්ය. බොහෝ සංවර්ධන නිලධාරි වෘත්තීය සංගම් පාලකයෝ ඉදිරියේ නිවට නියාලු සේ හැසිරීමේ ප්‍රතිථලය අද සංවර්ධන නිලධාරින් බුක්ති විදිමින් ඇත. එය කොතරම් සෝචනීය ද යත් රාජ්‍ය සේවයේ සිටින කිසිදු වෘත්තීයක් මේ ආකාරයට පත්ව නොමැත. අඩුම තරමින් කිසිදු රාජ්‍ය ආයතනයක කිසිවෙකුට උපාධියට සරිලන රැකියාවක් ලැබී නැත. ඔවුන්ට කිසිදු උසස් වීම් පටිපාටියක් නැත.  

උපාධිධාරීන් රාජ්‍ය සේවයට පැමිණෙන පළමු වසර හදුන්වන්නේ පුහුණු කාලයක් ලෙසය. එය කුමක් නිසා ඇටවුවක්ද?උපාධිධාරීන් හැරුණු කොට රාජ්‍ය සේවයට පැමිණෙන කිසිදු සේවයෙකු මෙම උප්පර වැට්ටියට හසුවි නැත. එහෙත් උපාධිය අතේ තියන් නිවට නියාලු ලෙස වසරක කාලයක් රු 20000.00කට කඹුරන්න සිදුවන්නේ උපාධිය විහිළුවක් කරමිය. අඩුම තරමේ ප්‍රසුත නිවාඩු ලබාගැනීමට බලා සිටින මවක් උපාධිධාරිනියක් වු සැනින් ඇයට ඒ සියල්ල අහිමිවන්නේ කෙසේද? උපාධියක් තීබීම ගෞරවනීය දෙයක් වනවා වෙනුවට  මාතෘත්වය කෙලේසීමට උපාධිය  යොදාගැනීම මොනතරම් නරුමද? 

මේ සියල්ල මෙසේ සිදුවාන්නේ පැවති සංවර්ධන නිලධාරි  වෘත්තී සමිති  වල නිවට නියාලු  ප්‍රතිපත්ති නිසාවෙනි. මේ නිසාම ඒකාබද්ධ සාංවර්ධන නිලධාරි සංගමය හැරූණාම මේ පිළිබදව වචනයක් කතා කිරීමට ඉදිරිපත් වුයේ නැත. සමාජයේ බොහෝ දේශපාලන පක්ෂ හා සංගම් මව්වරුන්ගේ දිනය සමරන්නේ මහ ඉහලිනි. ඔවුන් මහා ලොකු කතා කිය කියා මේ පිළිබදව කිසිත් නොකියා සිටින්නේ ඔවුන් ගේ මානුෂිය හැගීම් මේ ප්‍රශ්නයේදි යටපත්වන නිසා නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ඊට අසමත් නිසාවෙන්ය. මේ නිසා සංවර්ධන නිලධාරි පත්විම් ලද ඉතිහාසයේ පළමු වරට තම සේවය ව්‍යාජ පුහුණු කාලය මාස 6 දක්වා අඩු කරන ලෙසට සටනක් ආරම්භකොට ඇත. අහිමිකළ අයිතිය දිනා ගැනීමටනම් සටන් කිරීම හැර පාලකයින් ඉදිරියේ පුරු පුරු ගෑමෙන් පලක් නොවන  බව අද සංවර්ධන නිලධාරින් බොහෝමයක් ප්‍රකාශ කර සිටියි. මෙම නිසා කවුරුන් හෝ එම සටන ආරම්භ කළ යුතුය. එය දුර්වල තත්වයේ සිට ශක්තිවන්තයෙක් විමේ ගමනේ ආරම්භය වනු ඇත.

මෙම සටන 2019 වදවාගත් කණ්ඩායමට පමණක් අදාළ වුවක් පමණක් නොවන බව අවධාරණය කළ යුතුය. මන්ද ඉතිහාසය පිරික්සීමේදී තම පත්විමේ දිනය රාජ්‍ය සේවයට පැමිණ දින 180 ස්තිර කරකරගැනීමට යන පළමු කණ්ඩායම මෙය නොවන නිසාවෙනි. සේවයට පැමිණ ස්තීර ලිපිද ලැබ බොහෝ කාලයක් රාජ්‍ය සේවය  හිද පසුව තම සේවා කාලය ආපස්සට දීර්ඝ කරගත් පිරිස් ද සිටිති. ඔවුන් එය ලබාගත්තේ සටන් කිරීමෙන් මිස නිවට නියාලු ලෙස පාලකයෝ ඉඉදිරියේ පූස් පැටවුන් සේ හැසිරීමෙන් නොවන බව සිහිපත් කළ යුතුය. අද රාජ්‍ය සේවයේ පවතින සියලු සේවා කණ්ඩායම් තමන්ට අනන්‍ය පෞරුෂය ගොඩනගා ගත්තේ සටන් කිරීමෙනි. කිසිවෙකුට එම අයිතින් බන්දේසිය මත තබා පුජා කළේ නැත. ඊට මහා දැවැන්ත පිරිසක් දහඩිය වැපිරු අතර ඔවුන්ට අප ආචාරය පුද කළ යුතුය. 

මේ වනවිට රාජ්‍ය සේවයට සංවර්ධන නිලධාරින් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් බදවාගෙන ඇත. මේ පිරිස කිසිදු වෘත්තීයකට දෙවනි නොවන මහා දැවැන්ත බලයක් බව පමණක් ආණ්ඩුව ද දන්නා කරුණකි. එහෙත් බොහෝ අය සිටින්නේ නිවට නියාලු වෘත්තීය සමිතිවල චාටු කතාවලට හා තමන්ට මහා දැවැන්ත බලයක් තිබෙන බව නොදැනය. එම නිසා මෙම  මොහොත ධෛර්යය වන්තන්යින් නැගි සිටින මොහොතකි. නිවටයන් ඔවුන්ගේ කකුළෙන්  අදින මොහොතකි. කෙසේ වෙතත් ධෛර්යය වන්තයින්ගේ නැගී සිටීම නිවටය නිවටයන් වලක්වන්නේ කෙසේද? මොකද ඊටද  ඔවුන්ට ශක්තියක් නැති නිසාවෙනි. එමනිසා නිවටයන්ට හැක්කේ ධෛර්ය වන්තයින්ගේ ගමනට කොළරොඩු වලින් පහර දීමය උසුළු විසුළු කිරීම හෝ නාහෙන් ඇඩීම පමණි. කෙසේ වෙතත් පුහුණුවට ගත් සංවර්ධන නිලධාරින් මාස 6 න් ස්තිර කිරිමට ආණ්ඩුවට බලකරන අරගලය මාර්තු 02 දින දියත් කරනු ඇත. මෙම බදවාගත් සංවර්ධන නිලධාරින්ගේ ඉතිහාසයට තවත් එක් දිනයක් පමණක් නොවනු ඇත. මාර්තු 02  එම ඉතිහාසය නව දිසාවකට ගෙනයන දිනයක් වනු ඇත. එය කිසිවෙක් ඔළු ගෙඩිවලින් මනින්නට යන්නේ නම් හේ ජීරණය නොවු අහාරගත් විකටයෙක් වැන්නෙකි. එමනිසා මෙම සටන ඓතිහාසික ඇරැඹුමකි. ඊට ධෛර්යය වන්තයින් පෙල ගැසෙනු ඇත. එසේම ධෛර්ය පතන්නෝ සුබපතනු ඇත. ජය පතනු ඇත. 



Tuesday, February 25, 2020

රුහුණේ වැටමාර පොල්ලෙන් පසු කැලණියේ CCTV කැමරා

''කියන දේ අහගෙන හිටපල්ලා, මේක තියෙන්න ඕන ගෝඨා පාලනය' මිස තොපේ පාලනය නෙවෙයි - ,,මර්ෂල්,, කැලණිය විශ්වවිද්‍යාලයීය'

දින කිහිපයකට ප්‍රතම කැලණිය විශ්වවිද්‍යාලය තුල CCTV  කැමරා ස්ථාපිත කර ඇත. ඊට ශිෂ්‍යයින් දැඩි විරෝදය පල කළේය. මෙසේ අවස්ථා කිහිපයකදීම ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත්කර කියා සිටියේ ශිෂ්‍යයින් මර්දනය සදහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ නවත්වන ලෙසය. ඊට ප්‍රතිචාරය ලෙස මාර්ෂල් මහතෙකු කියා තිබෙන්නේ '' කියන දේ අහගෙන ඉදපල්ලා, මේකේ තියෙන්න ඕන ගෝඨා පාලනය මිස තෝපේ පාලනය නෙමෙයි. තොපි ගෝඨාභය මහත්තයට බයවෙන්න ඕන නැත්නම් තොපිට හොද ගේමක් සෙට් වෙනවා බලාගෙන ඉදපල්ලා''

මේය කිකන් කී කතාවක් නොව තර්ජනය කිරීමකි.මේ කැලණිය වෙලාගෙන යාමට සුදානම් වන මර්දනයේ ස්වභාවයයි. එය අතිශ්‍යයෙන්ම භයන්කර වන්නේ ආණ්ඩුවේ අරමුණ ශිෂ්‍යයින් ජනාධිපති ගෝඨාභයගේ නම ඇසු සැනින් භියෙන් සලිතවා දැකීමනම් මින් ඉදිරියට කේදනීය කාලයකට සමාජයට මුහුණ දීමට සිදුවනු ඇත.

CCTV කැමරා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශිෂ්‍යයින්ගේ විරෝධයට කන් නොදී පාලකයන් තම උගුල සකස් කිරීමට කටයුතු කළේය. ඒ අනුව අවසානයේ ශිෂ්‍යයින්ට කියා තිබෙන්නේ අපිට ඕවා ගලවන්න බෑ. මේක ඉහලින් ආව ඕඩර් එකක් ඒ නිසා ඔයාලා බැහැලා ගලවලා දාන්න. මෙහෙම පරිපාලන නිලධාරින් ශිෂ්‍යයින්ට උත්තර දෙනකොට ඔයාලට මේ දේවල් කරන්න බැරීනම් අපි ගලවලා දෙන්නම් යැයි ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව ශිෂ්‍යයින් පිරිසක් සමග කැමරා ගැලවීමට පරිපාලන නිලධාරින් කිහිපදෙනෙක් ද පැමිණ ඇත. ශිෂ්‍යයින් කැමරා ගැලවන විට එක්වරම එක්  පරිපාලන නිලධාරියෙක් ආවේෂයෙන් මෙන් විරෝධය පලකරමින් කෑකෝ ගසා ඔවුන්ම ගලවාගන්න යැයි කී කැමරා ගලවන විට ඊට එරෙහිව මොර දෙන්නට පටන්ගෙන ඇත. අවසානයේ ශිෂ්‍යයින් සියලුම CCTV කැමරා ගැලවා පරිපාලනය වෙත බාරදීමට ගොස් ඇත. එහෙත් කලින් කී ලෙස පරිපාලනය කැමරා භාරගෙන නැත. ඒ අනුව ශිෂ්‍යයින් ඒවා ආරක්ෂක අංශ වෙත භාර දී ඇත. මෙම සිදුවිම කිරීමට පෙර මේ පිළිබදව විශ්වවිද්‍යාල පරිපාලනය දන්නේය. නමුත් දැන් මේ පිළිබදව  මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන විකෘති කරන ලද තොරතුරුය. මාධ්‍යට අනුව කැමරා ගලවා තිබෙන්නේ හොරුන් පිරිසකි. එසේම එවා සෝරාගෙන තිබෙන්නේ පරිපාලන නිලධාරින් ඒවා ඔයාලට ඕනෑනම් ගලාවා ගන්න යැයි කී පිරිස නොවේ. දැන් ඒවා ගලවාගෙන තිබෙන්නේ සැකකාර ශිෂ්‍යයින්ය.

දැන් කැලණිය විශ්වවිද්‍යාලයට මර්දනය පැමිණීමට නියමිතය. එය පැමිණෙන්නේ ඉතාම සංවිධානාත්මකවය. ඊට මාධ්‍ය තමන්ට රිසි ලෙස එවා යොදා ගනිමින් සිටියි. දැන් මෙම සිදුවිමේ සත්‍ය කිසිවක් ජනතාවට දැන ගැනීමට නොහැකිවනු ඇත. එසේම ශිෂ්‍යයින් ලබා දෙන අදහස් කපාකොටා ආණ්ඩුවට වාසිවන ලෙසට විකාශනය කරනු ඇත. මෙම මර්දනය සරල නොවන්නේ එබැවිණි. විශ්වවිද්‍යාල තුල පවත්වන මංජුසාව, බිහිදොර කලා උළේලවල් වලට කිසිම මාධ්‍යක් පැමිණෙන්නේ නැත. එහෙත් මෙම සිදුවිම සිදුවී විනාඩි කිහිපයක් තුල දෙරණ නාලිකාව පැමිණ ඇත. සමහර විට මෙම සිදුවිම සිදුවන තෙක් ඔවුන් පාරට වී බලා සිටියාක් මෙන් දෙරණින් ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇත.

කෙසේ වෙතත් මේය  ආණ්ඩුවේ ක්‍රියාන්විතයක් වී අවසන් බවනම් පැහැදිලිය. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය මෙම මර්දනය හා එහි ස්වරූවය රටතුලට ගෙනයාමට වෙහෙසිය යුතුය.


Friday, February 21, 2020

මර්දනය නවකවදය යොදාගන්නා ආකාරය

නවකවදය පිළිබදව සමාජයේ තිබෙන්නේ පිළිකුල් සහගත හැගීමකි. එය එසේ විය යුතුය. අපද නවක වදයට එරෙහි වන්නෙමු. එසේම මේ තත්ත්වය ආණ්ඩුව තම දේශපාලන අරමුණු වලට භාවිතා කරන ආකාරය පැහැදිළි කරගත යුතුය. මීට ඕනෑ තරම් උදාහරණ තිබේ. නමුත් මේ පිළිබදව සමාජයට හොද වැටහිමක් නැත. එසේම එම අවබෝධය සමාජගත කීකීරීමට කිසිවෙක් වෙහෙසෙන්නේ ද නැත. එම නිසා ආණ්ඩුව නවකවදය යෝදාගෙන ශිෂ්‍ය ව්‍යාපාරය දැඩි මර්දනයකට ගෙන යමින් තිබේ. එහි ඊලග අදියර ලගදීම කළ එළි බසිනු ඇත. ඒ 2020 වර්ෂය සදහා නවක කණ්ඩායම් බදවා ගැනීමෙන් අනතුරුවය.

2008 වර්ෂයේ දී පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වුවේ එස්.බී දිසානයක ය. ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයට කළ හානිය අති මහත්ය. එම වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයේ තිළිණි හා කෞමිණි ශිෂ්‍යාවන්ට මර්දනයේ සැහැසිකම බුක්ති විදීමට සිදුවිය. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ජිම් කැන්ටින් එකේ කෑම ගැනීමට පොලීමේ සිටි ශිෂ්‍යාවක් කලන්තේ දැමු පසු ඇය රොහල් ගත කිරීම නිසාය. මෙම සිදුවිම පසුව නවක වද සිදුවිමක් බවට පරිවර්තනය කෙරිණි. ඒ විශ්වවිද්‍යාල පරිපාලනය මැදිහත් වි රෝගි වු ශිෂ්‍යාව බිය ගන්වා ඇගෙන් කට උත්තර ලබා ගනිමින්ය. ඒ අනුව නවකවද චෝදනාව යටතේ තිළිණි හා කෞමිණි ශිෂ්‍යාවන්ට දින 68ක් සිරබත් කෑමට සිදුවිය. එම කාලයේ එය විශ්වවිද්‍යාල පද්ධතිය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර මාධ්‍ය මෙම සිදුවීම නවකවදය නිසා සිදුවිමක් බවට තහවුරු කළේය. සත්‍ය වශයෙන්ම ආණ්ඩුවේ මර්දන අවශ්‍යතාවට මෙහෙය වූ මාධ්‍යයේ බොරුව අවසන්වන්නේ දැමු නඩුවෙන් කිසිවෙක් වරද කරුවන් නොවීම හරහාය. එය ඒ මොහොතේ ආණ්ඩුවේ අවශ්‍යතාව සදහා ගෙන ගිය දේශපාලන ව්‍යාපෘතියක් පමණි .
 
මේ කාලය තුල මෙවැනි සිදුවිම් දහසක් පමණ සිදුවිය. ඒ හරහා පන්ති තහනම් කිරීම් ශිෂ්‍ය භාවය අහෝසිකිරීම් නිවෙස්වලට පැමිණ බිය වැද්දවීම් 1178 වාර්තා විය. එහි ඊලග සිදුවීම සිදුවුයේ 2014 වර්ෂයේදීය. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට නව්කවදය ලබාදුන් බවට චෝදනාකර ශිෂ්‍යයින් 11 දෙනෙක් හා ශිෂ්‍යාවන් 4 දෙනෙක් දින් 84 සිරගත කිරීම හරහාය.
මෙම සිදුවීම නියමිත පරිදි සැලසුම් කරන ලද එකකි. නවකවදයට ලක්වුවායැයි කියන ශිෂ්‍යාව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක සමග සමීපව කටයුතු කළ අයෙකි. ඇයට නනවකවදය ලබාදෙන විටත් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක සමග දුරකතන සංවාදයක යෙදී සිටියාය. එම සිදුවීම සමග ඇය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වෙත දිව යන්නේය.ඉන්ප්සු පසු කැලණිය විශ්වවිද්‍යාලයේ පරීපාලනයේ අවශ්‍යතාව මත ඇය කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළාය. සතියකට පසු එම පැමිණිල්ල නැවත සංශෝදනය කරන්නේ විශ්වවිද්‍යාල පරිපාලනයේ අවශ්‍යතාවට අනුවය. නැත්නම් ආණ්ඩුවේ අවශ්‍යතාව අනුවය. ඒ සමගම ඇය විශ්වවිද්‍යාලයේ සිටි එසේම පරිපාලනයෙන් ලබාදුන් නාම ලෙඛනයට අනුව පැමිණිල්ල අලුත් කරන්නේය.

දැන් නවකවද චෝදනාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දින 84 සිරබත් කා අවසන්ය. එහෙත් දැන් පැමිණිල්ල දැමු ශිෂ්‍යාව හෝ පරිපලනයට එම නඩුව පිළිබදව වගේ වගක් නැත. එය අවස්න්ය. ඒ එම මොහොතේ ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කළ ආකාරයයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ වැටමාර පොල්ලේ කතාවද එසේය. එහි කිදු සත්‍යතාවක් නොමැත. නමුත් ආණ්ඩුව තම දේශපාලන උවමනාවන් ඉටුකරගෙන අවසන්ය. ඉදිරියේදි මෙම තත්ත්වය තවත් තිවුරවනු ඇත. විශ්වවිද්‍යාල මට්ටමින් ඊට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස්කොට අවසන්ය. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්ත්වයට මුහුණ දීමට සුදානම් විය යුතුය. මේ පිළිබදව සමාජයට හෙලි කල යුතුය. නැත්නම් නවකවදය නමින් ගොඩනැගෙන මර්දනයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට දැඩි හානි සිදුවනු ඇත.

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...